Total Pageviews

Monday, December 16, 2013

ඓතිහාසික මුහුදු මහා විහාරය බේරා දෙන්න – විහාරාධිපති හිමියෝ ඉල්ලති

බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන අන්දමට, විහාර මහා දේවිය ගොඩබට ස්ථානය සේ සලකන, නැගෙනහිර පළාතේ, පොතුවිල් හි මුහුද ආසන්නයේ පිහිටා ඇති ඓතිහාසික මුහුදු මහා විහාරය, පුරාවිද්‍යාත්මක නටබුන් වලින් ගහන බොදු පින්බිමකි. වැල්ලෙන් යටවී ඇති භූමියෙන්ද වරින් වර පුරාවස්තු මතුවන මෙම ස්ථානය නිසි පරිදි කැණීම් සිදුකර නොමැති නමුත්, දැනට පවතින පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ වලින් මෙහි ඉතිහාසය ක්‍රි.පූ. 2වැනි සියවස දක්වා දිවයන බව පුරාවිදුදරයන්ගේ මතයයි. 1951 වසරේ ජනවාරි 26දා ගැසට් පත්‍රයෙන් මෙම ස්ථානය පුරාවිද්‍යා රක්ෂිත භූමියක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබිණි. අක්කර 72ක්, රූඩ් 3ක් හා පර්චර්ස් 13ක් එදා මේ රක්ෂිතයට අයත් විය.
අතීතයේ අක්කර 264කට හිමිකම් කියූ මුහුදු මහා විහාර භූමිය, 1965 මැයි 28දා මෙම භූමිය පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට නැවත ප්‍රකාශයට පත්කරද්දී එය අක්කර 30යි, රූඩ් 3යි පර්චස් 13 කට සීමා වී තිබිණි. එම අක්කර 30ක ප්‍රමාණය, 1980දී අක්කර 20ක් ලෙසද, 1990දී අක්කර 15ක් ලෙසද, 2005 වසර වනවිට අක්කර 7ක් ලෙසටද තවදුරටත් සීමාවීම ඛේදජනක තත්වයකි. එම ඛේදනීය තත්වය වඩාත් තීව්‍ර කරමින් වර්තමානයේ එම ඓතිහාසික භූමිය අක්කර 3කටත් වඩා අඩු ප්‍රමාණයකට සීමා වී තිබීම ජාතියේ අවාසනාවකි. අනාගතයේදී එය පර්චස් කිහිපයකට හෝ එම ප්‍රමාණයද නැත්තටම නැතිවී යන තත්වයකට පත් නොවේ යැයි කාටනම් කිවහැකිද? මෙම ඓතිහාසික භූමිය ක්‍රම ක්‍රමයෙන් ආක්‍රමණය කරන්නෝ කවරහුද? ඔවුන් වෙනත් ජන බලවේගයන් හා එම ජනතාවගේ දේශපාලන බලවතුන් බව කරුණු සොයා බැලීමේදී පෙනීයයි. (පුදබිමට අයිති අක්කර ප්‍රමාණය කෙමෙන් කෙමෙන් අඩුවී ඇති අයුරු පහත වගුවෙන් දැක්වේ.) අතීතයේ අක්කර 264 යි. 1951 වසරේ අක්කර 72 යි. 1965 වසරේ අක්කර 30 යි. 1980 වසරේ අක්කර 20 යි. 1990 වසරේ අක්කර 15 යි. 2005 වසරේ අක්කර 07 යි. 2013 වසරේ අක්කර 03 යි. මෙම ඓතිහාසික මුහුදු මහා විහාරයට පසුගිය සති කිහිපය තුළ එල්ලවී තිබුණු බලපෑම පිළිබඳව එහි වත්මන් විහාරාධිපති, පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමිපාණන් වහන්සේ ගරු අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍යතුමන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම්දී තිබේ. එම ලිපියේ පිටපතක් පහතින් දැක්වෙන අතර, එහිදී උන්වහන්සේ ඉල්ලා සිටින්නේ මෙම ස්ථානයේ සිදුවන අනවසර ඉදිකිරීම් නවතා, නිරවුල් පූජා භූමියක් ලෙසට නිදහස් කරදෙන ලෙසයි. මෙම පුරාවිද්‍යාත්මක භූමියේ අනවසර ඉදිකිරීම් සිදුකිරීමට අන්‍ය බලවේග මේ වනවිටත් සූදානම් වී ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය පවා ගෙනැවිත් ඇති බවත් උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටී. එම ඉදිකිරීම් ඔවුන් සිදුකළහොත් පූජා භූමිය තවදුරටත් ඛේදනීය තත්වයකට පත්වන බැවින්, මේ වෙනුවෙන් සෘජුව මැදිහත් වී මේ ඓතිහාසික මුහුදු මහා විහාරය බේරාදෙන ලෙස උන්වහන්සේ අග්‍රාමාත්‍ය හා බුද්ධ ශාසන අමාත්‍ය ගරු දි.මු. ජයරත්න මැතිතුමාගෙන් ඉල්ලා සිටී. පූජ්‍ය වරකාපොළ ඉන්ද්‍රසිරි හිමියන් 063-3730612 හෝ 071-1726119 යන දුරකථන අංක ඔස්සේ ඇමතිය හැකිය.

No comments:

Post a Comment